දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිල මෙරට වාහන හිමියන්ගේ ආර්ථිකයට අද දරාගත නොහැකි ප්‍රශ්නයක්ව තිබේ. අනෙක් අතට ඉන්ධන දහනයෙන් නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් වායුව මෙරට පරිසර දූෂණයට මහත් තර්ජනයක්ව පවතී. මේ ප්‍රශ්නවලට විකල්ප විසඳුම වන්නේ ආර්ථිකයටත් පරිසරයටත් ඔරොත්තු දෙන වාහනයක් අපම නිපදවා ගැනීමය.

ඒ අනුව යමින් විදුලි බලයෙන් පැයකට කිලෝමීටර් 40 ක වේගයෙන් ධාවනය කළ හැකි අලුත් මාදිලියේ මෝටර් රථයක් දැන් ශ්‍රී ලාංකික නව නිර්මාණකරුවකු විසින් නිපදවා ඇත.


කිසිම පරිසර දූෂණයක් නොමැතිව ඉන්ධන බිඳුවක්වත් වැය නොකර විදුලියෙන් දුවන මේ මෝටර් රථය නිපදවා ඇත්තේ ජනාධිපති සම්මානලාභී කේ. ටී. කපිල ද සිල්වා මහතායි. ඔහු මීට වසර අටකට පෙර මෙරටදී නිපදවූ මොෆෙඩ් රථයට ජනාධිපති සම්මාන හිමි විය. එම මොෆෙඩ් රථය ගැන ද සිළුමිණ මඟින් ප්‍රථම වරට අපි අනාවරණය කළෙමු. ඒ අයුරින් මේ නව විදුලි මෝටර් රථය පිළිබඳව ද අපි මෙසේ සටහන් කරන්නෙමු.

මෙරට හැම තැනම ඇති ත්‍රිරෝද රථවලට විකල්පයක් ලෙස ඒ රථවලට වඩා සුව පහසුව ආරක්ෂිතව අඩු වියදමකින් ගමන් බිමන් යා කළ හැකි මේ මෝටර් රථය නිපදවීමට කපිල ද සිල්වා මහතාට වසර 4 ක් පමණ ගතවී තිබේ.





 මෙහි ඇති ඉතාම වැදගත් අංගය බැටරි පද්ධතියයි. එය ඇම්පියර් 120 බැටරි 5 කින් යුක්තයි. ඒ පද්ධතිය එක් වරක් ආරෝපණය කළ විට කිලෝමීටර් 120 ක් දුවන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක් බැටරි පද්ධතියකට කිලෝමීටර් ලක්ෂ 5 ක දුරක් දිවීමට හැකියාව තිබේ. එය 500 වරක් ආරෝපණය කිරීමට හැක.

මේ බැටරි ආරෝපණය කිරීම ඕනෑම නිවසක හෝ ආයතනයක ඇති සාමාන්‍ය විදුලි බලය (220 - 240V) මඟින් කිරීමට පුළුවන. මේ බැටරි පද්ධතියෙන් එන ප්ලග් එක නිවසේ ඇති විදුලි පේනුවකට සවිකළ විට බැටරිය ආරෝපණය වීම සිදුවේ.

මේ මෝටර් රථයට ක්ලච් එකක් නැත. මෝටර් රථයේ මෝටරය ක්‍රියාත්මක වන්නේ ඇක්සලේටරය ක්‍රියාත්මක කරන විට පමණි. වර්ණ විදුලි සංඥා සියල්ලට LED බල්බ් දමා තිබේ. ඒ නිසා බලශක්තිය පිරිමැසේ. මෙම මෝටර් රථයේ දොරවල් තවම සවිකර නැත.





 මේ නව නිර්මාණකරු කපිල මහතා පවසන පරිදි කොළඹ නගරයේ ඇති ත්‍රීරෝද රථ ගණන ලක්ෂ 4 කි. ඒ සඳහා දිනකට රුපියල් මිලියන 262 ක් වැයකර අධික ඉන්ධන දහනයක් වැය කරනු ලැබේ. මේ ත්‍රීරෝද රථ වෙනුවට අලුතින් නිපදවූ පරිසර හිතකාමී මෝටර් රථ ධාවනය කළොත් විදුලිය ආරෝපණය (බැටරි චාර්ජ්) කිරීමට වැය වන්නේ රුපියල් මිලියන 30 - 32 ක් පමණි. මේ අනුව අලුත් මෝටර් රථය පාවිච්චි කළොත් දවසකට රජයට ඉන්ධන සඳහා පමණක් රුපියල් බිලියන 225 - 230 ක් පමණ මුදලක් අපේ රට තුළ ඉතිරි කිරීමට අවස්ථාව සැලැසේ.

මීට අමතරව සූර්ය බලයෙන් මේ මෝටර් රථයේ බැටරිය ආරෝපණය කිරීමට සකස් කළ හැකිය.

මෙම මෝටර් රථය රජයේ ලියාපදිංචි කිරීමෙන් පසු වාණිජ මට්ටමින් දියුණු කිරීමට රජයේ උදව් උපකාර ඔහු බලාපොරොත්තු වේ.

මෙම නව නිර්මාණය සඳහා කපිල මහතාගේ පුතණුවන් වන නදිශ් ඩී. සිල්වා මහතා ද උදව් වී ඇත.

Post a Comment

 
Top